Monday, February 25, 2013

මිරිඟුවකි නුඹ

හිස් බවින් පිරි මගේ ජීවිතයට.
එක් කඩඉමකදී ඇතුල් වූ නුඹ.
ඇවිදින් ඉන්ද්‍රචාපයක් විලස.
ගෙනාවූ  ඒ අලංකාරය.
කිසිදිනක අමතක නොවනු ඇත...


සොඳුරු තාරුණ්‍යයේ.
සොඳුරුතම සමයක.
මසිතට එක්කල.
මතක ගොන්නක.
අපූරුව..

එනමුදු නොසිතූ විලස.
වෙන්ව යන්නට වූ කල.
එය දරා ගැනුමට නොහැකිවිය මසිතට.
වල්මත් වූ මා සිත.
සෙව්වේ අස්වැසිල්ලක්.
සිදු විය වැරැද්දක්.
යලි නිවැරදි කල නොහැකි ලෙස..

එනමුදු ඒ මතක කැල.
පෙලයි මා නිරතුරුව.
දනිමි මම යලි කිසිදිනෙක.
නුඹ මට හිමි නොවන වග.
සිතමි මම එය.
ලැබෙන දඬුවම විලස.
මා කල වැරැද්දට..

නැත කිසිඳු අහිතක්.
ඔබවෙත කිසිදිනෙක.
එබැවින් ඔබ කල.
මේ මහා විස්කමට.
පුදමි හදපිරි සුබපැතුම්.
සතුටු කඳුලින් යුතුව..

මේ දිගු සසර තුල.
යලි අප මුන ගැසෙනු ඇත.
පතනෙමි මතු අත්බවෙක.
යලි මෙලෙස සිදු නොවන ලෙස.....

Thursday, July 12, 2012

වසරකට පසු

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ පැත්තට ගොඩ වැදුනෙ..! අවුරුද්දකින් ආපු නැති එකා දැන් මේ ආවෙ අහවල් දේකටද කියල මගෙන් අහන්න එපා. ඒ ඇහුවත් මට දෙන්න හරිහමන් උත්තරේකුත් නෑ! 


අන්තිමට දාපු පෝස්ට් එකට පස්සෙ මගේ ලැප් මල්ලිගෙ මොකක්ද අවුලක් නිසා මට මේකට ලොග් වෙන්න බැරුවයි හිටියෙ..! අනේ ඉතිං දන්න කියන සේරම පිලියං කරල බැලුවත් වැඩේ හරිගියේ නෑ නොවැ. අන්තිමේ මගේම බ්ලොග් එකේ කට්ටිය දාන අදහසකටවත් උත්තරටක් දීගන්න විදියක් නැතිව ඇත්තටම ආගන්තුකයෙක් වෙලා හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ! කැම්පස් එකේ ඒ වෙද්දි විභාගයකුත් සෙට් වෙලා තිබ්බ නිසා මේක හදා ගන්න විද්වතෙක් ලඟ යන්න වෙලාවක් තිබ්බෙත් නෑ ;)


අද මේ අහම්බෙන් පොඩි ට්‍රයි එකක් දීල බලද්දි ආපහු ලොග් වෙන්න පුලුවන් උනා! ඉතින් අවුරුද්දක් තිස්සෙ වල් බිහිවෙලා තිබ්බ "මගේ කොලම" සුද්ද කරල ගන්නයි මේ ලෑස්තිය..! අවුරුද්දක් තිස්සෙ එකතු වෙච්චි දේවල් නම් සෑහෙන තියනවා ලියන්න! ඒ උනත් මේ දවස් වල මට තියන දැවෙන ප්‍රශ්නයක් නිසා හිත එකලාසයක් කරන් ලියන්න දෙයක් ගලපගන්න එක අමාරු වැඩක් වෙලා..! ඒ නිසා අදට මෙතනින් නවත්තලා ආයෙ දවසක එන්නයි කල්පනා කලේ.... කොහොම උනත් යන්න කලින් මට ඇතිවෙලා තියන ප්‍රශ්නෙ මම පහලින් දාල යන්නම්කො! මේකට ඔයගොල්ලන්ගෙ අදහස දාල යන්න අමතක කරන්න එපා! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක ලොකු උදව්වක් වේවි..!





තමන් අවංකව ආදරය කරන කෙනාට  දෙමව්පියො විරුද්ධයි නම් ඊලඟට මොකද කරන්නේ?



මේ ගැන අද්දැකීම් තියන අය ඉන්නවානම් මට මේක විසඳ ගන්න උදව් කරයි කියල හිතනවා


ආයෙ දවසක හම්බෙමු එහෙනම්..! 


Friday, July 29, 2011

මදැයි කොලා.....!!

මදැයි මම බ්ලොග් එකක් පටන් ගත්තා! ආගන්තුකයා කියල!! දැන් බැලින්නම් මේ බ්ලොග් අවකාසෙ ආගන්තුකයො වැහි වැහැල නෙ..... මටම හම්බුනා තව තුන් දෙනෙක්. අනේ ඉතිං එහෙම හිටියයි කියල මගේ නං කිසි අමනාපයක් නෑ ඕං. සමහර ආගන්තුකයො නං මටත් කලින් ඉඳංම මේකෙ හිටපු අය නෙ.....


ඉතිං අන්තිමේ මං තීරනේ කලා මගේ නමේ පොඩිපහේ වෙනසක් කරන්නයි කියල. අපේ මකුළු පැංචි එහෙම නං කලින්ම මෙහෙම කරන්නයි කියලා යෝජනා කරල තිබ්බා. ඒත් ඉතිං බොහොම ආසාවෙන් හදා ගත්ත මේ නම් පොඩ්ඩ වෙනස් කරන්න හිත හදා ගන්නෙ කොහොමෙයි!! (කට්ටිය දැන් අඬන මූනක් මවා ගන්නෙ හොඳේ ? )


මෙහෙම කරන්නේ හේතු දෙකක් නිසා! එකක් බලන අයට මම වෙන කෙනෙක් එක්ක පටලැවෙන්නෙ නැතිවෙන්න! අනික අහක යන වැරදි මම පිටිං යන එක නවත්තන්න ( පහුගිය කාලෙ මේවයෙ වුන දේවල් වල හැටියට එහෙම  දේවල් ගැනත් නොහිතා බෑනෙ ).



හරි ඔන්න එහෙනම් දැන් වෙලාව 7.08


වර්ෂ 2011 වූ ඇසළ මස 29 වැනි දින ඉහත සඳහන් වෙලාවේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් පැවතියා වූ " ආගන්තුකයා " නම් වන මගේ නම " සොඳුරු ආගන්තුකයා " ලෙස වෙනස් කරන බව ශ්‍රී ලංකා ජනරජයට දැනුම් නොදී ( මාව හිරේ දායිද මන්ද ) බ්ලොග් අවකාශයේ සිටින සියලුදෙනාටම මෙයින් දැනුම් දෙමි.... 


ඔන්න එහෙනං දැන් ඒ වැඩෙත් හරි. හැබැයි ඕං දැන් තව කවුරුහරි මේ නමිනුත් ඉන්නවා කියනව එහෙම නෙවෙ! හිටියත් ආයෙ නං නම වෙනස් කරන්නෙ නෑ ඕං...


නම වෙනස් කලා කියලා මම නං ඇබිංදක් වත් වෙනස් වෙලා නං නෑ යාලුවනේ..! ඒ නිසා වෙනද වගේම ඇවිත් මේක කියවලා මාව දිරිමත් කරලා යන්න හොඳේ....!

Wednesday, July 27, 2011

කොල්ලෙක්! කොල්ලෙක්!! කොල්ලෙක් !!!

මේ කතාව නං නෙවෙ මම අද දාන්න හිටියෙ. ඒත් අපේ කතන්දරගෙ බ්ලොග් එකෙ කතන්දරයක් කියවද්දි තමා මට මේ කතාව මතක් උනේ..  (මේක මං කෙටියෙන් ඒකෙ කමෙන්ට් එකක් විදියටත් දාල ඇති ).  අනේ මන්දා මේක ටිකක් විතර 18+ ද මන්ද! බ්ලොග් එක පටන් ගත්තු ගමන් මෙහෙම කතා දානවය කියල කට්ටිය මට ප්‍රහාර එල්ල කරයිද දන්නෙත් නෑ. ඔන්න ඔහේ ඕන ඉබි නැට්ටක් වෙන්නය කියල මම මේක දානවා. නැත්නම් මට මේක මෙහෙමම අමතක වෙලා යනව.. මේක වෙද්දි නම් හැබැයි අපිට 18+ තියා 14+ වත් නෑ ඕං....


මේ සිද්දිය වෙනකොට අපි හිටියෙ ඉස්කෝලෙ 7 වසරේ.. ඒ වසරෙදි තමා මට ඉස්කෝලෙදි සෙට් උන සිරාම ගැන්සිය සෙට් වෙලා හිටියෙ. ඔක්කොම කොල්ලො 9 හිටියා. කරපු කුප්ප වැඩ වල නං කෙලවරක් නෑ. ( ඔය අසභ්‍ය වැඩ එහෙමනං නෙවෙ හොදෙයි.. ) දැන් අහන්න එපා මොනවද ඒ කියල. මතක් වෙන හැටියව ඒවා පස්සෙ එකින් එක දාන්නම්කො....


මේ සෙට් එකේ කොල්ලෙක් හිටියා. අපි ඌට දාල තිබ්බ නම තමා " කසලයා " කියන එක. ඒකටත් හේතුවක් තිබ්බා. ඌට පුදුම පිස්සුවක් තිබ්බෙ ඔය එක එක ගැජට් කෑලි එකතු කරන්න. ඒ කිව්වෙ ඔය පොඩි  පොඩි සර්කිට් කෑලි .අත් ඔරලෝසු වල මැශින්. 9V බැටරි එහෙම..... පොර ගොඩක් වෙලාවට ඕව ඇහිදගන්නෙ එක්කො පාරෙන් නැත්නම් කුණු ගොඩකින්. දැන් තේරෙනව ඇතිනෙ නමේ නිධාන කතාව..


ඔන්න දවසක් අපි සෙට් එක හිස් පීරියඩ් එකක ( ඒ කාලෙ අපේ පන්තිය කණ්ඩායම් වලට බෙදලා ඒ විදියට ඩෙස් බංකු එහෙම හදලා තිබ්බෙ. ඉතිං අපි සෙට් එක හිටියෙ එක කණ්ඩායමක කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙව ) සුපුරුදු පරිදි විද්වත් සාකච්ඡාවක් දාගෙන හිටිය. මොනවද මාතෘකා කියල නං අහන්න ඔට්ටු නෑ ඕං.!! 
ඉතින් ඔහොම යන අතරෙ අපේ සාකච්ඡාව එක මාතෘකාවකට ආව. (ආ ඒක නං මොකක්ද කියලා ඇහුවට කමක් නෑ! ). ඒ තමා ළමයි හම්බෙද්දි ගෑනු පිරිමි විදියට බෙදෙන්නෙ කොහොමද කියන එක ?? 



දැං කාලෙ හැදෙන උං වගේ නෙවෙයි අපි ඒ කාලෙ හොද සත් ගුණවත් මල් වගේ හැදිච්ච අහිංසක කොල්ලො ටිකක් නේ.. හිකිස්....  ඒ නිසා ඕක ගැන හරියට දන්න එකෙක් වත් හිටියෙ නෑ. එහෙමය කියලා ඉතිං මේ තරං වැදගත් දෙයක් නිකං අල්ලලා දාන්නත් බෑ නෙ. අනික අපේ සෙට් එකේ එකෙක් වත් දන්නෙ නෑ කියන්නෙ පන්තියෙ අනිත් උං කොහොමත් දන්නෙ නෑ කියන එකයි. ඒ නිසා ඒ පැත්තෙං අහන්න කෙනෙකුත් නෑ.

අන්තිමේ ඉතිං අපේ සෙට් එකේ එක එකා තමං දන්න විදියට ඕක වෙන හැටි පැහැදිලි කරන්න ගත්තා..

එකෙක් :- මචං ගෙදර ඉන්න වැඩිමල් එකා ඌට ඕනෙ නංගියෙක්ද මල්ලියෙක්ද කියලා කිව්වාම තමා ඕක තීරනේ වෙන්නෙ. ( ඇත්තනෙ පොඩිකාලෙ තාත්ත ඇවිත් අපෙං අහනවනෙ පුතේ ඔයාට ගේන්න ඕනෙ මල්ලියෙක්ද නංගියෙක්ද කියල...)

තව එකෙක් :- පිස්සුද ***** එහෙම වෙන්නෙ කොහොමද? එහෙනං පලවෙනි එකා ඉපදෙනකොට මොකෙක්ද ඕනෙ කියලා අහන්නෙ තොපෙ අල්ලපු ගෙදර පොඩි එකාගෙන්ද? ( ඌ කියන කතාවත් ඇත්ත තමා )

ඔන්න එතකොට මෙච්චර වෙලා නිහඬව හිටපු කසලයාත් කතාවට එන්ටෝර් වුනා....

"අනේ බං උඹලා මොනවද දන්නෙ කියපංකො? ඉන්නෙ නම් නොදන්න දෙයක් නෑ වගේ. ඒ උනාට දන්න මගුලක් නෑ බලන් ගියාම...."

"හරි උඹ දන්නවානං ඉතිං කියපංකො බලන්න" ? 

"ඔව් ***** මම දන්නවා තමා! අහගනිල්ල එහෙනං. මේ වැඩේ අම්මට තීරනේ කොරන්න බෑ. ඒක කරන්නෙ තාත්ත. තාත්තට පුතෙක් ඕනෙ නං අහවල් වැඩේ ( ඌ එවෙලෙ එකට කිව්වෙ නං එහෙම නෙවෙ ) කරන්න කලිං අම්මගෙ අහවල් තැනට ( මෙයත් ඌ කිව් වචනය නොවේය ) කොල්ලෙක්! කොල්ලෙක්!! කොල්ලෙක්!!! කියල තුන් පාරක් කියලා පුහ්! කියලා පිඹලා කරාම තමා කොල්ලෙක් හම්බෙන්නෙ..."

අපි :-  $@@$$15*&!8*@!$^!%

Sunday, July 24, 2011

සංචාරය දෙවන කොටස

මේ කතාවෙ මුල් ටික කලින් පෝස්ට් එකේ දැම්මනෙ. කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නවානම් ඔක්කොටම කලින් මෙතනින් ගිහින් ඒක බලලාම ආවනම්....


ඔන්න ඉතිං දැං කට්ටිය පහලට බහිමු කියලා ඒකමතික ( නොවන, එත් වැඩක් උනේ නෑ ) තීරනේකට ආවා. ඒ උනාට පහලට බහින්න තැනක් දන්නෙ නෑ නේ. කොහොමහරි ලඟ පාත තිබ්බ කඩේක හිටපු පොරකට කතා කරලා ඒක ඇහුවා.

"ආ මල්ලි ඔහොම තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි පාරක් තියනවා"

"ඒකෙන් දිය ඇල්ල මුලටම යතෑකිද අයියෙ?" අපේ ෆොටෝ බුවෙක් අහපි....


"ආපෝ මල්ලි එච්චර යන්න බෑ.... මැද හරියට වගේ යන්නයි පුලුවන්. එත් ඕනෙම නං පාරක් හදං පහලටම යන්න. කවුරුත් බනින එකක් නෑ...." (ඒක අහපු සන්තෝසෙට නම් මට අර කඩේ මැද්දෙම ඒ අයියව ගිහිං ඉඹින්න හිතුනා! දැන් ඉතිං කියපල්ලා මම "ගේ" කියල පුලුවන්නම් )


කොහොම හරි ඕං පොර කිව්ව පාරත් හොයාගෙන අපි පහලට බහින්න ගත්තයි කියමුකො..

පඩි කපලා පාර නියමෙට හදලා තිබ්බා. අපිත් ඉතිං හුරේ කියලා පහලට බහිනවා දැං. ( ආයේ මේකේ උඩට නගින්න ඕනෙ නේද කියන අති භයංකර සිතුවිල්ල හිතට ගන්නේ නැතිව )


මායි අපේ සංගීත බුවයි ඉදිරියෙන් යනවා.
අනිත් උන් දෙන්නට නම් කොහෙද යන්නෙ කියලවත් සිහියක් නෑ.උං දෙන්නා තමංගේම සිහින ලෝකයක තමංගේ ආදරවන්තිය ( මේ කිව්වෙ කැමරාව ගැනයි හොදේ.. ) එක්ක තුරුළුවෙලා මොනවදෝ කරනවා.....

ඔය අස්සෙ අපේ සංගීත බුවාටත් ෆොටෝ ගන්න ආසාවක් ඇතිවෙලා කැමරාව ඇදගෙන මිනිහත් වැඩ... අනේ ඉතිං ඒවටත් එක එක විදියට පෙනී හිටීමේ අතවරයට ලක් වෙන්න උනේ මේ අහිංසක මලක් වගේ ඉන්න මං තුමාටම තමයි....


අන්තිමේ ඔය විදියට ගිහිං අපේ ගමනාන්තෙට අපි ලගා උනා.. මං හිතන්නේ මේක හොයාගනිපු කෙනාගෙං පස්සෙ එතෙන්ට ගියේ අපිමද කොහෙද! ඒ තරං කැලේ වැවිලා..

එතෙන්ට ගියා විතරයි අපේ ෆොටෝ බුවාලා දෙන්නා ගෙනාපු ආම්පන්න එහෙම දිගෑරගෙන හුරේ කියලා ෆොටෝ ගන්න පටන් ගත්තා...

ඊට පස්සෙ ඉතිං අර දෙන්නගේ නා නාප්‍රකාර (සමහර ඒවා නම් ටිකක් ජුගුප්සාජනකයිද මංද ) ඉරියව් දිහා සෑහෙන වෙලාවක් බලන් ඉන්න සිද්ද වුනා..



වෙලාවට පොඩි වැස්සක් පටන් ගත්තු නිසා අර දෙන්න වැඩේ එතනින නවත්තලා ආපහු එන්න පටන් ගත්තා.
ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ සංගීත මිත්‍රයට එදා දවස පුරාවටම අපරාපරිවේදණීය ආකාරයෙන් (ඒ වචනෙ තේරුම දන්නෙ නැත්නම් 10 වසරෙ පරන බුද්ධාගම පොතක් අරන් බලන්න ) පලදෙන්න පටන්ගත්තා වූ කර්මය පටන්ගත්තෙ.. වෙන විදියකට කියනවා නම් පළමු වෙනි (අ)වාසනාවන්ත කූඩැල්ලා මිනිහගෙ කකුලෙ එල්ලුනේ...


හැබැයි වැඩේ කියන්නෙ එහෙම නැගපු එක කූඩැල්ලෙක් වත් පොරගේ ලේ බොන්න නම් උත්සහ කරලා තිබ්බෙ නෑ ( මොකද දන්නෙ නෑ ).


මුලු ගමන පුරාවටම මගේ ඇගේ එල්ලුනේ නම් කූඩැල්ලෝ දෙන්නයි. ඒත් අපේ සංගීත බුවාට නම් පුදුමාකාර විදියට කූඩැල්ලෝ ( ඒ සියලු දෙනා කූඩැල්ලන් නොව කූඩැල්ලියන් බව පසුව සොයා ගන්නා ලදී ) ආකර්ශනය වෙලා හිටියෙ.

එකෙක්! ආහ් වැරදුනා එකෙක් නෙවෙ එකියක්... ගලවද්දි තව දෙන්නෙක් එල්ලිලා.. උන් දෙන්නා ගලවද්දි අර කලින් ගලවපු එකී ආයෙ හොයන් ඇවිත් ( ආදරේ වැඩිකමට වෙන්නැති ) කකුල බදාගෙන..

මේ කූඩළු රසිකාවියන්ගෙන් ලැබුන හිතාගන්නවත් බැරි ප්‍රතිචාරය නිසාද කොහෙද අන්තිමේ බුවාට එහේ දාල එන්න බෑ කිව්ව නේ!! අපි එන්න කියලා බස් එකේ නැගලා ටිකක් එන්න ගත්තමයි දැක්කෙ බුවා කූඩලු රසිකාවියොත් එක්ක බස් හෝල්ට් එකේ නැවතිලා කියලා.. මොනවා කරන්නද ඉතිං යන්තම් බස් එක නවත්තගෙන බැහැලා ආපහු ආවා ( අපරාදෙ සීටුත් තිබ්බ ඉදං යන්න ).

අන්තිමේ යන්තං කියලා කියලා ආපහු යන්න බුවාව කැමති කරගෙන  එදා දවසට තිබ්බ අන්තිම බස් එකේ නැගලා ආපහු හිටපු තැනට ආවා.. රසිකාවියො ටිකා දාලා ආපු දුකටද කොහෙද ආපු ගමන් මිහිහ කලේ නාන කාමරේට රිංගලා අනේ තව එක රසිකාවියෙක් හරි තමං එක්ක ඉන්නවද කියලා හොයපු එකයි...

කොහොමහරි අරතරං තමංට ආදරේ කරපු කූඩැල්ලියෝ ටික දාල එන්න උන දුකටද කොහෙද බුවාට එදා රෑ නින්ද ගිහිනුත් නෑ. අනුමත වන්නන් සඳහා ගෙනාපු දියර වලිනුත් උදේ බලද්දි ටිකක් අඩු වෙලා තිබ්බ කියල කෙනෙක් කියනවා ඇහුනා.. (කමක් නෑ හිතට දුක ඇතිනේ ). එන ගමනුත් හරිම මලානික විදියට තමා ආවෙ....

ඉතිං ඔන්න ඔය විදියට අපි ඒ ගමන නිමා කලා. කොහොම උනත් ඒ ගමන හරි අපූරු මතකයක්.මොකද සාමාන්යෙන් කට්ටිය ගොඩ දෙනෙක් බලන දියඇලි දෙකක් ගොඩදෙනෙක් නොයන පාරක ගිහිං තමා අපි බැලුවෙ. ගමනපොඩ්ඩක් යන්න අමාරු උනත් ගියාම මරු!

ඉතිං ඔයගොල්ලොත් මේ දියඇලි බලන්න යන්න හිතං ඉන්නවානම් මේ විදියට පහලට බැහැලා ගිහිං බලන්න. ඒ හරියේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවාම යන විදිය කියාවි... අනික අපේ ඡායාරූප කලාවෙ යෙදෙන කස්ටිය ඉන්නවානම් මේ විදියට පහලට බැස්සොත් ඒ දිය ඇලි වල පට්ට ෆොටෝ ටිකක් තමන්ගේ ඇල්බමයට එකතු කර ගන්න පුලුවන් වෙවි...
හැබැයි මතක ඇතුව කූඩැල්ලන්ගෙන් බේරෙන්න පුලුවන් විදියට ලෑස්ති වෙලා යන්න ( අපි එක්ක ගියා වගේ කූඩැල්ලෝ ආකර්ශනය කර ගන්න පුලුවන් කවුරු හරි එක්ක ගියත් වැඩේ ගොඩ ).

එහෙනං ඕං ඒ කතාවත් ඉවරයි. හිතෙන දෙයක් පහලින් කියලා යන්න අමතක කරන්න එපා... මේ බ්ලොග් එකට කැමතිනං ඒ ගමන්ම ෆලෝ පාරකුත් දාගෙන යන්න.....


Wednesday, July 20, 2011

අපේ සංචාරය

බ්ලොග් එක පටන්ගත්තට මොකද දෙවනි පෝස්ට් එක ලියන්න ලැබුනෙ අදයි.. එක අතකින් එහෙම හරි ලියන එක මදැයි ඉස්සරහට කොහොම ලියන්න වෙයිද කවුද දන්නෙ..

හැබැයි මගේ පලවෙනි පෝස්ට් එකට හම්බුන ප්‍රතිචාර ගැන නම් මට ඇත්තටම සතුටුයි. 5 දෙනෙක් අදහස් දීලා තිබ්බා... මම හිතුවෙවත් නැති තරම් කට්ටිය ගානක් ඇවිත් මේක බලලා හරි ගිහිං තිබ්බා (අර ආපු ගාන කියන කියන කොටු කෑල්ල බොරු කියන්නෙ නැත්නම්).
දැන් කාට හරි හිතෙන්නත් පුලුවන් යකෝ...! කමෙන්ට් 5 අරන්නෙ මූ මේ හෙනම ටෝක් දෙන්නෙ, මේක නිකම් කැළනි ගඟ යටින් අර අහවල් එකක් ගියා වගේනෙ කියලා... ඒත් බ්ලොග් අවකාශයට අලුතින් එක්වුන මේ පුන්චි බ්ලොග් එකට  ලැබුන මේ ප්‍රතිචාර ටික මටනම් වැඩිත් එක්ක ඇති..


හරි හරි දැන් ඒ කතා ඇති...... තව පොඩ්ඩෙන් ලියන්න ආපු එක පැත්තක තියලා ස්තූති කතාවක් ලියවෙන්නයි ගියේ.... :D

දාන්නෙ මොනවද කියලා කල්පනා කරද්දි නම් සෑහෙන ජාති ගොඩක් ඔලුවට ආව ඒත් ඉතින් ඉස්සෙල්ලාම මොකක් හරි පජාත පෝස්ට් එකකින් පටන් ගන්න එකත් හරි නෑනෙව... ඒ නිසා මට හිතුනා පහුගිය දවසක ගිය සංචාරෙක විස්තර ටිකකින්ම පටන් ගන්න..

පහුගිය දවසක අපි ගියා ( අපි කිව්වට 4 දෙනයි ගියේ ) ලංකාවේ අර රාවණා රජ්ජුරුවන්ගෙ කැපිටොල් සිටි එක... ඔව් ඔව්. නුවර එලිය තමා!  තිබ්බාය කියන පැත්තට. හැබැයි රාවණා ගෙ එව්ව මෙව්ව හොයන්න නං නෙවේ ගියේ... හතරක් ගියාය කියලා මං කලින් කිව්ව නේ. ඒකෙන් දෙන්නෙක් ඡායාරූප කලාව කෙරෙහි මහත් වූ ආලයෙන්  යුතුව ඒ කෙරෙහි ඇලී ගැලී වෙලී හිටපු   ආහ්... වැරදුනා.. වෙලී නෑ හොඳේ!!!  ඩයල් දෙකක්. අනිකා මේ සිරි ලංකාවේ අනාගතයේ දවසක සංගීත කෂේත්‍රයේ ඉහලම ස්ථානයක වැජබෙන්නා වූ (ඌ හිතන් ඉන්න විදියට ) පොරක්. අනිත් එකාට නම් ඉතිං දාන්න කියලා එහෙම විශේෂණ පදයක් නෑ,ඌට  මේක බලන උන්දෑලා කැමති එකක් දා ගන්නේ නෑතෑ...

ගමනේ විස්තර ඔක්කොම මේකේ දාන්න ගියොත් ජුගුප්සාජනකයි නෙව.. ඒ නිසා ටිකක් දාන්නං! කොහොම හරි ඉතිං අපි  ගියේ අර St clears සහ Devon කියන දියඇලි දෙක බලලා ඒවට අවසාන ගවුරවේ දක්වලා එන්න. ඇයි ඉතිං අර සිවුරු පොල්ටේ එල්ලී දියවන්නාව මොන්ටිසෝරියට ආවා වූ අපේ කරන්ට් ඇමතිතුමාගේ ඉහල කොත්මලේ නම් වූ බලාගාරය හේතුවෙන් ( ඇත්තනේ බොලව් දිය ඇලි බැලුවා වගේද කරන්ට් එක නැතිවුනොත්? ඒක නැතිව බොලා ලියයි බ්ලොග්! ) ලඟදීම දවසක මේ සුන්දර කොමලියන් දෙදෙනා හිඳී යනව නේ....

අපොයි මොනවද මං මේ ලියන්නෙ..?
හරි හරි මතක් උනා...
ඉතිං  අපි ඇවිදිං ඔය දිය ඇලි දෙක පේන හරියටම ආවය කියමුකෝ. ඔය යන එන කස්ටිය නං ගොඩ දෙනෙක් කරන්නෙ ඔය හරියේ පාර අයිනට ගිහිං දිය ඇල්ල දිහා විනාඩි 2 විතර අනිමිස ලෝචන පූජාවේ යෙදිලා පොටෝ කෑලි දෙක තුනකුත් අරන් ආපහු යන එකනේ. ම්ං තුමා හිතං හිටියෙත් එහෙම කරන්න තමා. කොහෙද අර ෆොටෝ ගන්න ආපු ඩබල එකපාරටම කියාපි දිය ඇලි ලඟටම යන්න ඕනෙය කියල! ක්ලෝසප් ද මොකක්ද ජාතියක ඒවා වගයක් ගන්න ඕනෙලු!!
ඒක අහපුවම මගේ නිකං යටිපතුලේ ඉදං ඉස්මොලේ වෙනකල් වෝල්ට් 33000 කරන්ට් එකක් වැදුනා වගේ වුනා. ඇයි යකෝ එතන ඉදං පහල බැලුවම  පේන්නෙ නිකං තට්ටු තිහක විතර බිල්ඩිමක මුදුනට  නැගලා පහල තියන කාණුවක් දිහෑ බලනව වගේ. ඒ මදිවට යන්න තියෙන්නෙත් හරිහමං පාරක් නැතිව කැලෑ මැදිං! අබ ඇටේකිං තුන්කාලක තරම්වත් මොලයක් තියන එකෙක්ට තේරෙනව මේක  කොහොමහරි බැස්සත් අයේ නගිනවා කියන්නෙ නං දනිස් දෙකේ ශොක් අලුතින්ම දාන්න සෙට් වෙන වැඩක් බව...

කොහොම හරි දැං ඡන්ද 2 තියනවා පහලට බහින්න. අනිත් ඡන්ද 2 විරුද්ද පක්ශය වෙනුවෙන් පාවිචිචි කිරීමේ අරමුණ් ඇතිව ඉතිරි එකාගේ චන්දය මගේ පැත්තට හරවා ගැනීමේ අන්ත දූශිත යටිකූට්ටු නූල් සූත්තර මෙහෙයුම ආරම්භ කල මම අසරණ ලීලාවෙන් උගේ මූන බලන ලදී. නමුත් පහලට බැස අනිත් උන්ට නොදෙවනි ලෙස ඡායාරූප කලාවේ යෙදීමට හදිසියේ ඌ තුල උපන් සිතුවිල්ල හේතුවෙන් අවසනයේ මට පරාජය බාර ගන්න  විය.


දැන් ඉතිං මක්ක කරන්නෙයි බහිනව මිසක්! අම්මප අර නිශේධ බලේ කියන එක මට තිබ්බ නං දනී කරන දේ...

අප්පේ දැන් නං අත් දෙකත් රිදෙනවා. මගේ ජීවිතේටම මේ තරම් දිග සිංහල ලිපියක් ටයිප් කලාමයි.. මේ කතාවේ ඉතිරි ටික මං ඊලඟ ලිපියේ දාන්නම්.. අපෝයි ඒ අස්සෙ හොස්ටල් එකේ එකෙක් මගෙ දොරටත් ගහනව.. එහෙනම් අපේ සංගීත බුවා ගත් වැරදි තීරණය සහ අහිංසක මාගේ බලාපොරොත්තුව බිඳ දැමීමේ පාපකර්මය හේතුවෙන් කූඩැල්ලන්ගේ අතවරයට ලක්වූ අයුරු ඊලඟ පොස්ට් එකෙන් කියවමු  ( මේ කතාවට කැමති නම් විතරක්!! මේ කියවපු ටිකේ හැටියට ඉතිරි ටික ඕනෙ නෑ වගේ නම් කියන්න.. )

ප.ලි මගේ බ්ලොග් එකේ වෙලාව ( පෝස්ට් සහ කමෙන්ට් පබ්ලිෂ් කල වෙලාව ) වැටෙන්නෙ වැරදි විදියටයි. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක වෙනස් කරන හැටි මට කියලා දෙනවද ?

Monday, July 18, 2011

වැඩ අල්ලන්නට අවසරයි...

මෙච්චර කාලයක් අනුන්ගේ බ්ලොග් කියවපු මම ඔන්න අද ඉදන් මගේම බ්ලොග් එකක (සාඩම්බර) හිමිකරුවෙක් උනා...
හැමෝටම ආයිබෝං කියලා ඔන්න එහෙනම් වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය (නැකතක් නම් හොයාගන්න බැරි උනා හැබැයි). හිතට මොකක්දෝ පොඩි අමුත්තක් නම් දැනෙනවා. කමක් නෑ පහුවෙද්දි හරියයි කියලා හිතමු නේද?

මම මුලින්ම බ්ලොග් එකක් කියවන්න ගත්තෙ මිට මාස 5 විතර වගේ කලින්. ඒ කාලෙදිම හිතුන මමත් එකක් පටන් ගන්න ඕනෙය කියල. හැබැයි ඉතිං හිතුන උනාට මම එ වෙද්දි මේව ගැන මෙලෝ දෙයක් දැනන් හිටියෙ නෑ. කොහෙද ඉතිං පොඩිකාලෙ ඉස්කෝලෙං ලියන්න කියපු ඩයරිය වත් ලිව්ව එකෙක්යැ මේ දැන් බ්ලොග් ලියන්න කතා කොරන්නෙ.. කොහොමින් කොහොම හරි අනිත් බ්ලොග් කියවලා ඒවට කොමෙන්ටු දාලා අන්තිමේ මේක පටන් ගත්තා.

අද ඉදලා ඉතිං මගේ හිතට එන ඕනෙ වැල් වටාරමක් මම මේකෙ ලියනව. ඇයි ඉතිං කාගෙන් තහනමක්ද? මගේ බ්ලොග් එක නේ.. හික් හික්
පොඩි හරි වෙලාවක් තියනවනම් ඇවිත් මේක බලලා හොඳ නරක වැරදි අඩුපාඩු කියලා යන්න.වැරදි හදාගන්න ඉතිං කවුරුහරි ඒව පෙන්නලා දෙන්න එපයි.. මෙලෝ රහක් නැත්නම් ඒකහරි කියලා යන්න. එහෙම කිව්වයි කියලා මං තරහ නෑ ඕං...

ආ! තව පොඩ්ඩෙං අමතක වෙනව!! මං ගැන කියන්න බැරිවුනානේ. මමත් ඉතිං තවත් අම්මෙක් සහ තාත්තෙක් පිහිටෙං මේ පොලවේ පය ගහලා ඉන්න කොල්ලෙක්. මේ දවස් වල නම් කොරන්නෙ සුද්දගෙ වෙදකං ගැන ඉගෙන ගන්න එකයි..

හ්ම්ම්... අදට ඔය මදෑ නේද? පස්සෙ දවසක අලුත් පෝස්ට් එකකින් ආයෙ හමුවෙමු